Saturday, January 19, 2019

තවමත්

පුදුමයි, ඒ කාලය
තවමත් දැනෙන ඒ මිතුරුකම
පුදුමයි, උඹ ගැන මතකය
තවමත් සිතේ සැරිසරන
පුදුමයි, උඹේ ආලය
තවමත් මගේ හදවත සනසවන
පුදුමයි, උ⁣ඹේ උණුහුම
තවමත් සොයන මගේ ගත
පුදුමයි, ඒ හැමදේම
තවමත් මම උඹට පෙම් බඳින
පුදුමයි, යන්නම ගිය උඹේ ළඟ
තවමත් මගේ හදවත සැනසෙන රඟ


Saturday, January 23, 2016

හිමි පෙම සහ අහිමි පෙම

ජීවිතයට සුවඳ දුන් නුඹේ අහිමි පෙම
ජීවිතය හැඩ කල ඇගේ හිමි පෙම
වහං කරනු බැරි වූ මා නුඹට බැඳි පෙම
හිමි පෙම් යදමින් බැඳී සිරකර
විඳිමි ඇගේ පෙම
විඳවමින් ඔබේ පෙම
අයා දෑස් අනාගතයට
සිටිමි දෙලොවක් අතර තනිවෙලා මම

නිසල රැයට සිහින ගෙනෙනා නුඹේ පෙම
සිහින බිඳිමින් වදන් තෙපලනා ඇගේ පෙම
සිතට නිවනක් නොදෙන මගේ පෙම
සොයයි ආදරයේ වැරදුන අපේ මග
රිදවමින් හඬවමින් මගේ හදවත

අහිමි වුව නුඹේ පෙම මට
හිමි වුව ඇගේ පෙම මට
මගේ හදවත කොනක රැඳුනු නුඹ
ලබයි මගේ පෙම සදාකල් සිත තුල

ප.ලි I:
වයර් වු මගේ වදන් මෙව්වා පෙල
කියවා නුඹේ සිත වයර් වූ කල
නොතැවෙන් මම සේ නුඹ
නුඹයි රැජිණිය මගේ සිත තුල
ඇයයි රැජිණිය මගේ දිවිය තුල

Friday, May 16, 2014

Just විකාර!

කෙනෙක් ආදරේ කරන්න ඕන මුලු ජීවිතේටම එකම කෙනෙක්ට විතරමයි කියලා නීති පොතකවත් අඩුම තරමින් ජීවිත පොතේවත් ලියවිලා නෑ. ඒ වුනාට එකම කෙනෙක් මුලු ජීවිතයම කරගත්තු අය මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. ඒ ආදරේ සමහර අයට අයිති වෙලා ඇති. තවත් අයට අහිමි වෙලා ඇති. ඒ ආදරේ හිමි වෙලා තියෙන අය සතුටු වෙනකොට අහිමි වුන අය දුක් වෙනවා ඇති.. එතකොට කවුරු හරි කෙනෙක් ආදරයක් අහිමි වෙලා දුක්වෙන කෙනෙක්ට ආදරේ කරන්න පටන් ගත්තොත්...

එහෙම ආදර කතා මේ ලෝකේ අනන්තවත් ඇති.. එහෙම ආදරයක තියෙන්නේ දුකක්ද සතුටක්ද කියලා වෙන් කරලා හොයාගන්න කොයි තරම් අමාරුද කියලා එහෙම ආදරේක පැටලුණු අය දන්නවා ඇති. එහෙම අමාරුවක පැටලිලා උන්නු කාලයක් මටත් තිබුණා.. ඒ අවුල තව තවත් අවුල් වෙලා කියලා අවුරුදු ගානකට පස්සේ මට දැනෙනකොට ලොකු දුකක් හිතට දැනෙනවා.

මට මතකයි කවුරු හරි මගේ යාලුවෙක් කිව්වා “උඹට කොච්චර කෙල්ලෝ ජීවිතේට හම්බ වුනත් එක කෙල්ලෙක් හම්බ වෙයි, මොන තරම් දේවල් වුනත්, මොන තරම් ආදරේ කරන්න, කරන කෙල්ලෝ උඹට හම්බුනත් ඒ එක කෙල්ලව කවදාවත් අමතක කරන්න බැරිවෙයි. උඹ හිත ඇතුලින් හරි ඒ කෙල්ලට ආදරේ කරයි“ කියලා. මම මේ කියන කෙල්ල සමහර විට ඌ කිව්ව, මගේ ජීවිතේ හැංගුණ කෙල්ල වෙන්න ඇති..

මේ බ්ලොග් එක පුරා ලියවුණු දේවල් වලින් වැඩි කොටසක් තියෙන්නේ ඒ කෙල්ල ගැන වෙන්න පුලුවන්. ඒකපාර්ෂවික වුණු ඒ ආදරේ ගැන වෙන්න පුලුවන්. ඒ වගේම කෙල්ලව මුණගැහුනෙත් බ්ලොග් කෙරුවාවෙන්ම තමයි. නැති වුන ආදරයක් වෙනුවෙන්, ඒ ආදරේ ලැබෙනකම් කියලා බලාගෙන ඉන්න, ඒ නැතිවුන ආදරේට ආදරේ කරන කෙල්ල වැඩි කාලයක් යන්න කලින්ම මගේ හිත ඇතුලට රිංග ගත්තා.

අවුරුදු හතරක්! මෙච්චර කාලයක් තිස්සේ මගේ ජීවිතේ කොයි තරම් දේවල් වෙනස් වුනත්, මගේ ජීවිතේට කොයි තරම් අය ආවත්, ගියත් මගේ හිතින් දුරස් නොවුන කෙල්ල අද වෙනකොට ඇත්තටම මගෙන් ගොඩාක් දුරස් වෙලා. ආයිත් ලඟට ගන්න ඕන වුනත් ඒක කරන්න ගොඩක් දේවල් මගේ ජීවිතෙන් කැප කරන්න වේවි. සමහරවිට එයාගේ ජීවිතෙනුත්. මට මගේ ජීවිතේ කැප කරන්න බැරි දේවල් ගෙඩක් දැන් එකතු වෙලා. දැන් මට කරන්න තියෙන එකම දේ මේ කියන කෙල්ලව අමතක කරන එක! ඒක කරන්න පුලුවන්. එහෙම කරලා උන්නා මම දැන් කාලයක් තිස්සේ.. ඒත් ඇයි අද? සිංදුවක් ඇහුණා. මේ කෙල්ලව මතක් වුනා.. හෙට උදේ නැඟිටිනකොට ආයිත් මේ කෙල්ලව අමතක වෙලා තියෙයි. ඒත් හිතේ කොනක හැංගිලා ඉදී.


මේ දේවල් ලිව්ව එක ගැන මම මේ පෝසට් එක පබ්ලිෂ් කලාට පස්සේ ගොඩක් දුක් වෙන්න වෙයි කියලා මට විශ්වාසයි. මේක කියවන දෙන්නෙක්ගේ හිත් රිදෙයි! සමාවෙන්න. මේ බ්ලොග් එකේ මේ කියන කෙල්ල ගැන මම කතා කරන අන්තිම වතාව මේ. මීට පස්සේ කවදා හරි ආයිත් දෙයක් ලිව්වොත්, මම පොරොන්දු වෙනවා, මේ කෙල්ල ගැන නම් නෙවෙයි. ;-)

Tuesday, April 10, 2012

හීනයකට පසුවදනක්..

ඔව්..!
ඒක හීනයක්..
ලස්සනම ලස්සන
හැබැයි 
නපුරම නපුරු..
ඒ ලස්සන වින්ඳා වගේම
ඒ නපුරු බව විඳෙව්වෙත්
ඒ ලස්සන හදාගත්තු,
ඒ නපුරු බව මවාගත්තු,
අපිම නේද?
හිතාගන්න බැරි තරමටම 
අපිටත් හොරෙන්ම
ඒ හීනය අපෙන් ඈතට යනකොට
අසරණ වුන පොඩි පැටව් දෙන්නෙක් වගේ
අපි තාම බලාගෙන ඉන්නවා..
කරන්න කිසිම දෙයක් නැතිව
අඬාගන්නවත් කඳුලු නැති ඇස්වලින්..



මේ මේ මේ....
උඹට හිතුනෙම නැද්ද මෝඩියේ...
ඒක හීනයක් විතරයි කියලා?
අපි හදාගනිමු, අපේම ලෝකයක්..
ඒ හීන වලින් මිදිලා..
කාටවත්, කොහොමවත්
විනාස කරන්න බැරි,
ලස්සනම ලස්සන, 
නපුරුකමත්  අඩුත් නැති, වැඩිත් නැති,
    ආදරේ පිරුණු ලෝකයක්..
හැබැයි..
අපිට උරුම විදියට..
අපිටම තනිවෙන්න..
කවදාම හරි..





[හා හා දැන් රෙද්ද උස්සගෙන කේලම් කියන්න යන්නෙ නැතිව හිටපං. මේක  හිතුනට ලිව්ව දෙයක් විතරයි! - අදාල කෙනෙක්ට]

Saturday, October 8, 2011

අපි නම් ඉතින් මතට තිත තියලා.. අපි නිදහස්.. !

ඉස්සර වගේ නෙවේ දැන්... සාපේක්ෂව ගත්තාම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන තරුණ පිරිස බොහෝම අඩුයි වගේ පේ‍න්නේ! ඒකෙත් ඇති වරදකුත් නෑ. අපේ අප්පච්චී කියන විදියටනම් අප්පච්චී තරුණ කාලේදී සිගරට් එකක් කටේ ගහගෙන පාරෙ යන මනුස්සයා හෙන "පොරක්" ලු.! සිගරට් එකක් කටේ තියාගත්ත කොල්ලොන්ට කෙල්ලොත් හෙන ලයික් ලු ඒ කාලේ.. 


මම නවය වසරේ ඉන්නකොට අපේ පන්ති භාරව හිටපු මැඩම් දවසක් ඔය මත්ද්‍රව්‍ය ගැන කිය කියා ඉදලා අන්තීමේටම කිව්වා "කොල්ලනේ... උඹලට බීඩියක්, සිගරට් එකක් බීලා බලන්නම ආසයි නම් අම්මා තාත්තාට කියන්න ඒ ආසාව. අම්මා තාත්තා ඉස්සරහා බීලා බලන්න" කියලා. ඕක අප්පච්චීට කියන්න ගියොත්  ඉතින් සිගරට් එක බීලා බලන්න කට ඉතුරු වෙන එකක් යැ. ඔන්නෝහේ වෙන දෙයක් වෙච්චාවේ කියලා මං අපේ අයියා කෙනෙක්ගෙන් ඉල්ලාගෙන සිගරට් එකක් බීලා බැලුවා. නන්ස්ටොප් කැස්සක්.. :D සිරාවටම කියන්නේ! බොන උන් මොනා කියයිද මන්දා.. මටනම් ඒක "මෙලෝ රහක් නෑ". අයියාත් දුන්නා පට්ටටම ලෙක්චර් එක.. "ඇදපං දුම උඩටම.. ඇතුලට ගියාට පස්සේ දුම ඇතුලේ තියාගෙන කට අරින්න පුලුවන් වෙන්ටෝනෙ දුම එළියට එන්නෙ නැති වෙන්න" ඔය මොන මොන කතා කියලා කොහොම කොරව්වත් මට සිගරට් එකක් කටේ තිබ්බ පළවෙනි දවසේම එපා වුනා! 


ඊළඟට මත්පැන් ටෙස්ට් කරලා බැලුවේ නැත්තං නිකං මදිපාඩුවක් වගේනේ..! ඔන්නෝහේ ඒකත් කරලාම දානවා කියලා ඒ කාලේම ඒකත් ටෙස්ට් කලා. එදා වගේම අදටත් මං ඔය මත් පැන් වර්ග ගැන කියන්න දන්නෙ නෑ. කොහොම හරි පළවෙනි දවසේම ගෙනල්ලා තිබ්බේ සුදු ලේබලේ අලවාපුවාගෙන් එකහමාරක්. මං වගේ නෙවේ හොඳ දක්ෂ ක්‍රීඩකයෝ අතරේ හැමෝගේම ප්‍රීති ගෝෂා මැද මගේ 14 වෙනි උපන්දිනය දවසේ තමා මං පළවෙනියටම මත්පැන් තොලගාලා බැලුවේ! ඒක නම් ටිකක් නැඟලා යන වැඩේ.. දෙකක් තුනක් දාගත්තා.. වැඩි අවුලක් නෑ. කෝම කෝම හරි යන්තම් වගේ භ්‍රමණය වෙනකොට ‍වැඩේ අතෑරියා. හවස ගෙදර යන්නත් එපැයි! සිගරට් අතෑරියාට මොකද මත්පැන් කේස් එකනම් දරුණුවටම නැතත් උසස් පෙල පටන් ගන්නකම් වගේ කරගෙන ගියා. මොකද මගෙත් එක්ක ඒ දවස් වල හිටපු යාලුවෝ වැඩි දෙනෙකුත් ඔය සීන් එකේ හිටි නිසා. ඒකත් උසස් පෙළට ආවාට පස්සේ "එක්කෙනෙක්ගේ" දැඩි විරෝධය නිසා නවත්තලා දැම්මා. හොඳ වෙලාවට අනික් අනික් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා බලන්න හිතුනේ නෑ මට.. ඇත්තටමයි කියන්නේ අද නම් මට ඒ දවස්වල මත්පැන් පාවිච්චි කරාය කියනකොටත් පට්ටම ලැජ්ජයි.. ඒකේ ඇති දෙයක් නෑනේ..!  


මේ හිටපු ගමන් කාටත් වැඩක් නැති මගේ මත්ද්‍රව්‍ය අතීත කථාව ගැන මතක් වුනේ The truth about drugs කියන http://www.drugfreeworld.org/ මගින් නොමිලේ ලබා දෙන පොත් සෙට් එක දැක්කාට පස්සේ. පොත් ටික ලැබිලා කාලයක් වුනාට මොකද ඒ එක්ක ලැබුණ DVD එක ඇරුණාම අනික් ඒවා දිග ඇරලා බැලුවේ අද තමා! ඒකේ තියෙන විස්තර ටිකකුත් කියන්නම්කෝ..






පුද්ගලයෙකුගේ ශරීරයට ඇතුලු කලාම ඔහු ක්‍රියා කරන ආකාරය සිත ආකාරය හා ඔහුට දැනෙන ආකාරය වෙනස් කිරීමට සමත් ආහාරයක් හෝ පෝෂකයක් නොවන දෙයක් මත්ද්‍රව්‍යක් විදියට හඳුන්වලා දීලා තියෙනවා. ඒවා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය බවට පත්වන්නේ ඒවගේ භයානකකම මත නීතියෙන් තහනම් කළ පසුවලු. 


මත්ද්‍රව්‍ය ගොඩක් දුරට ප්‍රචලිත වුනේ 1960 වගේ කාලයේ දීලු. ඒකට ගොඩක්ම ජනමාධ්‍ය වගේම සංගීතයත් හේතු වෙලාලු.! ඒ වගේමයි 2004 දී මිලියන 23ක් වුණු ලෝකයේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පිරිස 2008 වෙනකොට  මිලියන 208කට ඉහල නැගලාලු! 


මේ පොත්වල පෙන්වලා දීලා තියෙන, මත්ද්‍රව්‍ය භාවිතයට මිනිස්සු යොමුකරවන හේතු කිහිපයක් මෙහෙමයි..

  • ගැටලු වලින් මිදෙන්න හෝ නිදහස් වෙන්න
  • වෙහෙසකර බවින් මිදෙන්න
  • තමා වැඩුනු කෙනෙක් බව අන් අයට පෙන්වන්න
  • යමකට විරුද්ධත්වයක් පෙන්වන්න
  • මත්ද්‍රව්‍ය අත්හදා බලන්න
මීට වැඩිය පට්ට හේතු දෙයි ඔය මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයගෙන් ඇහුවාම. අර බෙහෙත් පැණියක් බොන සීන් එකක් තිබුණනේ කාලයක්. මගේ යාලුවෙකුත් ඕකට තදින්ම ඇබ්බැහි වෙලා හිටියා. එයා කියන්නේ " මචං.. ඒක ගැහුවාම බං මේ ලෝකේ මාර සුන්දරයි කියලා දැනෙනවා බං.. ගෙදර, පවුල කිසි දෙයක් මතක් වෙන්නෙ නෑ. හෙන සැහැල්ලුයිවක් දැනෙනවා. ඒක කියන්න වචනවත් දන්නෙ නෑ බං මං.. මාර හැඟීමක්" කියලා.. ඒක තමාලු ඒ මනුස්සයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න හේතුව! ඒ වුනාට ඕවා පාවිච්චි කරලා බාගෙට මැරිලා වගේ ඉන්න හැටි දැක්කාම දුකේ බෑ දෙයියනේ! 

මත්ද්‍රව්‍ය පාවිච්චි උදවිය සෑහෙනට බ්ලොග් අවකාශයේ ඉන්නවා නේ? පොඩ්ඩක් කතා කරලා බැලුවානම් ගොඩක් දේවල් දැනගන්න බැරි වෙන එකක් නෑ! :D

පුලුවන් නම් "The truth about drugs" කියන පොත් ටික ගෙන්වගෙන බලන්න. ගොඩක් විස්තර තියෙන ප්‍රයෝජනවත් පොත් සෙට් එකක්. මම ඒ පොත් ගැන විස්තර දැනගත්තේ සිංහල බ්ලොග් එකකින්. ඒත් මට බ්ලොග් එක මතක නෑ. බලෙන්ම මගෙ විස්තර අරගෙන පොත් ගෙන්නන්න ෆෝම් එක පුරවලා දුන්නෙ නදී අක්කා.. :P පොත් ගෙන්වගන්න ඕනි නම් මේ සබැඳියෙන් යන්න.

ඔන්න අපි නම් ඉතින් මතට තිත තිබ්බා.. 
අපි නිදහස්.. 


ප.ලි :- මගේ පවුලේ උදවිය මේක කියෙව්වොත් අනික් දවසේ ‍දැකපු තැනකදී පොල්ලක් අරගෙන මට ගහන්න එන්න නම් එපා. මං දැන් හොඳ දරුවෙක්!

Monday, July 25, 2011

ආ...... හෙට මට exam එකක්ද?


  • BIS FINAL EXAM දවසේ හවස..

මම - මචං.. ෆට්ට චාටර් බං පේපර් එක... රිපීට් තමා.. ඊළඟ එක එලට පාඩම් කරලා දාගමු බං..
යාලු‍වා - අනිවා මචං.. සිරාවට පාඩම් කරමු.. පුලුවන් වෙලාවට සෙට් වෙලා කුප්පියක් දාමු..
  • ඊට පස්සේ දවසේ..

යාලුවෙක් - මචං exam 26 නේ.. තව සති දෙකක් විතර තියෙනවා.. ගහමු බං මැච් එකක්..
යාලුවෙක් - ගහමු..
යාලුවෙක් - ගහමු..
යාලුවෙක් - ගහමු..
යාලුවෙක් - ගහමු..
  • මැච් එක දවසේ හවස..

අයියා කෙනෙක් - යකෝ තොපි පාඩම් කරමු කිවුවා නේද? කරන්නේ නැද්ද?
මම - කරමු කරමු අයියා.. තව කල් තියෙනවානේ...
  • සතියකට පසු...

මම - Java Past papers ගන්නෝනි බං.. සල්ලි නෑ..
යාලුවා - හෙට ගමු බං..
  • එදින ගෙදර ආ පසු..

පේපර්වත් නැතිව මොන පාඩම්ද.. හෙට පේපර් ටික අරගෙනම පාඩම් කරනවා..

  • පසු දින

මම - මචං පේපර් ටික ගමුද?
මචං - ගමු..

  • පේපර් අරගෙන ගෙදර ආ පසු..

මහන්සී.. පස්සේ කරනවා...

  • එදින සිට දින කිහිපයක් යනතුරු..

පේපර් ටික පස්සේ කරනවා... කොහොමත් තව කල් තියෙනවානේ...

  • විභාගයට දින දෙකකට පෙර

අනිද්දානේ විභාගේ.. හෙට පාඩම් කරනවා...
අද ටිකක් ෆේස්බුක් එකේ ඉන්නවා...

  • විභාගයට පෙර දින උදේ..

යාලුවා - මචං පාඩම් කරන්න ____ එකට වරෙන්..
මම - වහිනවා බං කම්මැලී.. මම ගෙදරට වෙලා පාඩම් කරනවා..

  • එදින දවල්..

හරියට 6ට පාඩම් කරන්න ගන්නවා..

  • එදින සවස 6ට..

තව ටිකකින් කරනවා..

  • එදින රාත්‍රී 9.30ට ෆේස්බුක් එකේදී
මම - මචං පාඩම් කලාද?
යාලුවා - නෑ බං.. :D
මම - හෙට උදේ පාඩම් කරනවා බං.. දැන් මේ බ්ලොග් පෝස්ට් එක දාලා නිදාගන්නවා...

හෙට ලියන්න ගියාට පස්සේ........ 



Sunday, July 24, 2011

අනඟ බඹරාට ළමයාගෙන් මෙව්වා එකක්..


ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයේ දී අපට දක්නට ලැබෙන ඉතාමත් කාලීන ලෙස ලියැවුණු ගීතයක් ලෙස, වර්ථමානයේදී බොහේ දෙනෙකුගේ සිත්ගත් ගායකයෙකු වන දුෂාන් ජයතිලක මහතා ගායනා කරනු ලබ "අනඟ බඹරා" ගීතය පෙන්වාදිය හැකිය. වර්ථමාන සමාජයේ බොහෝමයක් තරුණයන්ගේ ජීවන රටාවේ එක් පැතිකඩක් අලලා නිර්මාණය කරන ලද මෙම ගීතය "මතකයන්" නම් වූ ගීත ඇල්බමයට ඇතුලත් කර තිබෙණුයේ ඇතැම් විට දුෂාන් ජයතිලක මහතාද මෙම "අනඟ බඹරා" නම් ලේබලයට අයත් වූවෙකු වන නිසා ද විය හැකිය. සියුම් හාස්‍යයක් මෙන්ම තරුණියන් කෙරෙහි ව්‍යංගයෙන් කිසියම් පණිවුඩයක් ලබා දීමට සමත් ගීතයක් ලෙසද මෙම ගීතය සැළකිය හැකිය..


     "සිතිච්ච හැමවිට පිපිච්ච මල් වෙත බඹර රැඟුම් දමනා
      සැදිච්ච දිව අග පිපිච්ච පෙම් බස් මලට සෙමින් පවසා
      මලේ තුරුණු පෙම සෙමින් උරාබොන
      ඔන්න අනඟ බඹරා
      ඔන්න අනඟ බඹරා

ගීතයේ ආරම්භයේදී සිටම ශ්‍රාවකයා තුල සෙල්ලක්කාර තරුණයෙකුගේ චරිත ස්වභාවයක් සිත්තම් කරවමින් ශ්‍රාවකයා තුල "අනඟ බඹරෙකු"ගේ චිත්ත රූපයක් ශ්‍රාවකයාට ලබාදීමට මෙම පද පෙල ඇසුරෙන් ගීත රචකයාට හැකිවී ඇත. "මලේ තුරුණු පෙම සෙමින් උරාබොන" යන කොටස තුලින් ගීත රචකයාගේ උත්සාහය වන‍්නේ, අනඟ බඹරා කෙරෙහි සිත් බැඳි තරුණියට සිඳුවන්නා වූ අකටයුත්තක් ගැන ප්‍රකාශ කිරීමටදැයි දැයි සිතිය හැක.. එමෙන්ම "අනඟ බඹරා" වැනි යෙදුමක් දක්වමින් එම සෙල්ලක්කාර බව වඩාත් ඉස්මතු කරමින් ශ්‍රාවකයාට ඉදිරිපත් කිරීමට ගීත රචකයා උත්සුක වූ බවක් ද මෙහෙදී දැකිය හැක. දකින දකින රූමතියන් කෙරෙහි ලොල් බැඳ ඔවුන් රවටන ආදර බස් තෙපලමින් එම රූමතියන් තමා වෙත ආකර්ශනය කරගෑනීමට සමත් වන්නා වූ තරුණයෙකු ශ්‍රාවකයා ඉදිරියේ මවා පෑමට ගීත රචකයා විසින් දරන්නා වූ පළමු උත්සාහය ඉතාමත් සාර්ථකය.

     "හිසට නොයෙක් වද දෙමින් දමා හැඩ තදට ඩෙනිම ඇඳලා
      අනුන්ගෙ වාහන තමන්ගෙ වගෙ ගෙන ඉගිල යනෙන බඹරා
      නගේ නොවෙයි ඉඩ නුඹේ හදට විද රිඳුම් ගෙනෙයි බඹරා
      රිඳුම් ගෙනෙයි බඹරා
      රිඳුම් ගෙනෙයි බඹරා

දුෂාන් ජයතිලක මහතා විසින් ගායනා කරනු ලබන මෙම අනඟ බඹරා ගීතයේ දෙවැනි කොටසේදී ගීත රචකයා තම පූර්ණ උත්සාහය යොදා තිබෙණුයේ පෙර කී අනඟ බඹරාගේ පිට ඔපය පිළිබදව ඉදිරිපත් කිරීමටය. "හිසට නොයෙක් වද දෙමින් දමා හැඩ තදට ඩෙනිම ඇඳලා" යන පද පෙල තුලින් ගීත රචකයා, වර්ථමාන තරුණයින්ගේ විලාසිතා කෙරෙහි සියුම් පහරක් එල්ල කර ඇත.  "අනුන්ගෙ වාහන තමන්ගෙ වගෙ ගෙන ඉගිල යනෙන බඹරා"  පද ‍මෙම ගීතය‍ට ඇතුලත් කරමින් ගීත රචකයා නැවතත් ඇතැම් තරුණයන් වෙත සියුම් පහරක් එල්ල කර ඇත. කෙසේ වෙතත් අනුන්ගේ වාහන තමාගේ ලෙස රඟ දක්වමින් කෙල්ලෙක් අල්ලා ගැනීම පහසු වන්නේ කෙල්ලන්ට කොල්ලාට වඩා වාහනය වැදගත් වන නිසා යන්නද ගී රචකයා මෙහිදී ව්‍යංගාර්ථව ඉදිරිපත් කර තිබීම සතුටට කරුණකි. (විචාරකයාද අනුන්ගේ වාහන තමන්ගේ ලෙස පෙන්වමින් රවුන් ගසනා බැවින් මෙම පද පෙල ඇසී මඳක් කෝප වී ඇති බවක් පෙ‍නේ.) ගී රචකයා අවසන් පද පෙල තුලින් කියා පෑමට උත්සාහ කරනු ලබන්නේ මෙවන් වූ සියලූම අනඟ බඹරුන් නඟාලාට දුක් ගෙනෙනා බවයි. නමුත් මෙම පද පෙල අසාර්ථක පද පෙලක් ලෙස මම දකිනුයේ සියලූම බඹරුන් එලෙස දුක් ගෙන නොදෙන නිසාත් දුකට පත්වන්නේ  නඟාලාම නොවන නිසාත්ය. 

     "සිතින් සිතට පැන හදින් හදට දුක දෙමින් පනින බඹරා
      හොටේ ඇනෙන ලෙස කෙසෙල් ගසට ඇන අනේ වලක වැටිලා
      තවත් ඉතින් අර පරණ අනඟ වැඩ නොකර ඉඳින් බඹරා
      නොකර ඉඳින් බඹරා
      නොකර ඉඳින් බඹරා

ගීතය අවසන් කරමින් රචකයා උත්සාහ කරනුයේ සියලුම "අනඟ බඹරුන්" හට උපදේශක් ලබා දීමටය. "මලින් මලට පියාඹන්නා වූ බඹරුන් මෙන් දකින දකින කෙල්ල පසුපස නොයා හිටපං" යන උපදේශය රචකයා මෙහිදී ඉදිරිපත් කීරීමට උත්සාහ කලද, එය ඉදිරිපත් කරනු ලබ ආකාරය අසාර්ථකයයැ මෙහිදී දැක්විය හැක. ගසින් ගසට කොටනා කොට්ටෝරුවාගේ හොටය කෙසෙල් ගසක පැටලෙන බව කිව හැකි වුවත් මලින් මලට පියඹන බඹරෙකු කෙසෙල් ගසකට විදිනු ඇතැයි සිතිය නොහැක. එම නිසා ගීත රචකයා එම අවස්ථාන නිරූපණයේදී යොදා ගනු ලැබූ නිදසුන අසාර්ථකත්වයකට පත්වුවද ගීතයේ රසය කෙරෙහිවත් ගීතයෙන් සම්ප්‍රේශනයට උත්සාහ දරණු ලබන පණිවුඩයටවත් මෙමගින් හානියක් සිදුවී නොමැති බව ප්‍රකාශ කළ යුතුය.


දුෂාන් ජයතිලක මහතා විසින් ගායනා කරනු ලබන මෙම අනඟ බඹරා ගීතය සමස්ථයක් වශයෙන් ගත් කළ සාර්ථක නිර්මාණයක් ලෙස හැදින්විය හැකිය.  එමෙන්ම තරුණ තරුණියන් කෙරෙහි වැඳගත් පණිවුඩයක් ලබාදෙන ගීතයක් ලෙසද මෙම ගීතය හැදින්විය හැකි වේ. මෙම ගීතය අනඟ බඹරු‍න්ගේ හා එම අනඟ බඹරුන් වසා සිටිනා මල් වලට තේමා ගීතය ලෙස නම් කිරීමට හැකි නම් මම කැමැත්තෙමි..





ප.ලි. - මෙම ගීත විචාරකයාට සයිබර‍යේ ආඩම්බරකාරිය විසින් එල්ල කරනු ලැබූ මඩ ප්‍රහායක් හා ඇයගේ ඉල්ලීමක් මත මෙම මෙව්වා එක සටහන් කරන ලදී.. :D :D

Saturday, July 23, 2011

ළමයත් ඡන්දේ දැම්මාලු..!

අද ඉතින් මං ළමයාට මාර සතුටු දවසක්ලු.. අවුරුදු 20ක්ම බලාන ඉන්න වුනානේ ඡන්දේ කියන එක පාවිච්චි කරන්න.. ඔන්න ඉතින් අද ඒක කෝම හරි කරලා දැම්මා.. ඉතින් දැන් ප්‍රාදේශීය සභා ඡන්දෙට ගොඩක් වෙලාවට ඉදිරිපත් වෙන්නේ ගම්පලාතෙම පොරවල්නේ..


අද ඉතින් උදේ පාන්දර අටට නවයට විතර නැගිටලා එහෙට මෙහෙට කැරකි කැරකි ඉදලා දහයට විතර ඡන්දේ දාන්න කියලා ඡන්දපොලට ගියා.. ඔන්න යනකොට ඉන්නවා දැකලා පුරුදු මූණක්.. මේ දවස් වල ඉතින් කොයි ඡන්ද අපේක්ෂකයාගේ මූණද දැකලා පුරුදු නැත්තේ.. පොල්ගහක් බැලුවොත් ඒකෙත් ඉන්නවා.. ලයිට් කණුවක් බැලුවොත් ඒකෙත් මේ මිනිස්සු ඉන්නවානේ.. කෝම හරි ඉතින් ටිකක් ලංවෙලා බල‍නකොට ඉන්නවා ඡන්දපොලේ ගේට්ටුව ලඟ ඩයල් එකක්.. පට්ට දැකලා පුරුදු.. අම්මා ගායි බැට් එකෙන්.. ඔන්න දැන් හොඳටම මීටර් මේ කවුදැ කියලා... මේ ඉන්නේ අපේ ඉස්කෝලේ හිටපු හෙඩෙක් නේ!! මාරේ අයියා!


දැන් ඉතින් මූ ගේට්ටුවෙන් ඇතුලට යන එවුන්ට හතරට පහට නැවි නැවී මොනාද මොනාද කියනවා.. ඉස්කෝලේ ඉදිද්දිත් කලේ ඕක‍මනේ.. ඔහොම කරලා තමා ප්‍රධාන ශිෂ්‍යනායක පට්ටම ගත්තේ.. අපි නොදන්න හෙඩා.. ඕං ඕකත් එක්කම මට තවත් පරණ සීන් එකකුත් ලාවට මතක් වුනා ‍මාරේ ගැන.. ඕවා හිත හිතා ගේට්ටුව ලඟට යනකොටම..


මාරේ අයියා - ආ.. මල්ලී.. මාව මතකනේ.. 
මං ළමයා - නැතුව නැතුව මාරේ අයියා.. 
මාරේ අයියා - එහෙනම් අංකේ මතකනේ.. මනාප තුනම දෙන්ටෝනේ..
මං ළමයා - නැතුව නැතුව.. 21 නේ.. 
මාරේ අයියා - අපිත් ඉතින් සළකන්නම්.. ගිහින් වරෙන්කෝ එහෙනම් ඡන්දේ දාලා..


ඔන්න ඉතින් මම ඡන්දේ දාන තැනට ගිහින් පෝලිමේ ඉදලා ID එකයි කොලෙයි දුන්නා..


අංකල් - 138..... දෙව් ලොවින් පැමිණි ළමයා..


ඔන්න නම කියලා කොලේ ඉරලා ID එක මට දුන්නට පස්සේ ලස්සන ආන්ටි කෙනෙක් මගේ ඇගිල්ල පාට කරා.. සෝයි අක්කා කෙනෙක් කතිර ගහන කොලේ දුන්නා මට.. මට ඉස්සරහින් ගිය පොර මොකක්ද හුට්ටප්පරයක් කරගෙන ඡන්දේ ලකුණු කරන පෙට්ටිය අස්සේ ඔලුව දාගෙන දගලන අස්සේ මම ඡන්දේ ලකුණු කරන්න බලාගෙන ඉදිද්දී මගේ මතකය ආයිත් අතීතයට දුවලා ගියා..





----------------------------------------------------------------------------
වසර හයකට පෙර..


(පාසලේ විශේෂ නිවේදනයකට පෙර වාදනය කරන ශබ්දය යකඩ කටින් ඇසේ)


ප්‍රින්සිපල්තුමා - අද දින 12.45ට ආරම්භවන ගුරු රැස්වීම සඳහා සියලුම ගුරුවරුන් ප්‍රධාන ශාලාවට පැමිණෙන්න. ශිෂ්‍යනායකයින් තම තමන්ට අදාල පංති නිශ්ෂබ්දව තබාගන්න..


අපේ පන්තිය භාරව හිටපු ශිෂ්‍යනායකයා නැති නිසා හොඳට කෑගගහා ඉන්න අස්සේ "ටොඃ" ගාලා පිටිපස්සෙන් වැදුන ටොක්කක් නිසා මට උන් හිටිතැන් අමතක වුනා.. ‍හැරිලා බලද්දීම පුරවලා කනේ පාරකුත්..! අම්මේහ් හෙඩා.. මාරේ අයියා...


----------------------------------------------------------------------------


ඕක මතක් කර කර ඉන්න අස්සේ මට කලින් හිටිය පොර චන්දේ දාලා ගියා.. මම ගිහින් දැන් පෙට්ටිය අස්සේ ඔලුව දාගෙන කල්පනා කරා 21ට චන්දේ දෙනවද... නැද්ද.... අනික මේකා අලුත් කොල්ලා දේශපා‍ලනේට.. පරණ තරහකුත් තියෙනවා මූ එක්ක.. මේකා ඉස්කෝලෙදී කරපු වැඩවල හැටියට ඡන්දේ දිනුවාම මොනවා නොකරයිද.. හික්.. ගහලා ඇරියා අංක 9ට මනාප තුනම..! අපේ අම්මගේ ගෝලයෙක්.. ඌ නම් දැන් කාලෙක ඉදලා දේශපාලනේ.. වැඩක් කරපු පොරක් අපේ පැත්තට.. :D (කුරුටු ගාන්න හිතාගෙන ගියේ ඉතින් කොලේ.. කවියක් හෙම ලියලා එන්න හිතාන.. ක්ෂණික ගත්තු තීරණයක් අනුව තමා 9ට ගැහුවේ..)


ඔන්න දැන් එළියට එනකොට ඉන්නවා මාරේ අයියා ගේට්ටුව ළඟ..


මාරේ අයියා - මල්ලී වැඩේ හරිනේ..
මං ළමයා - අනිවා අනිවා... මනාප 3ම දුන්නා.. 

මාරේ අයියා - එලකිරි මලයා.. එහෙනම් පස්සේ සෙට්වෙමු..
මං ළමයා - හරේ.. මං ගියා හේනම්.
.



මෙන්න ටිකක් එහාට යනකොට ඉන්නවා අංක 9 අපේ අම්මා එක්ක කතාවකුත් දාගෙන..


අංක 9 - මල්ලී.. එහෙනම් හරි නේ නේද?
මං ළමයා - ආය මොනාද අයියා මම අම්මටත් කියලාම ගියේ.. 9 තමා කියලා.. :D


මුං දෙන්නා සෙට් වෙලා කතා කරා ද දන්නෙ නෑ.. "මචං අර මල්ලී මට මනාප 3ම දීලා බං".. කියලා.. :P


එහෙම වුනොත් සමහරවිට හෙට අනිද්දා මාව බලන්න එන්න වෙයි ඔහේලාට.. :D


ප.ලි.- කලින් අර මෙව්වා එකක් ලියන්න පටන් ගත්තට ඒක ලියන්න තරම් මගේ හිතට මෙව්වා එකක් නෑ. ඒක නිසා ඒක ගෙට ගත්තා.. සමවෙන්ටෝනේ..



Wednesday, May 25, 2011

අපි මෙහෙමයි ගෲප් ප්‍රොජෙක්ට් කරන්නේ..

දවසක්...

  • ගුරා - Internet technology කරපු පාඩම අදින් ඉවරයි.. දැන් ඔයාලා කැමති Organization එකක් අරගෙන ඒකට ගැලපෙන website එකක් හදන්න. මේ පාඩම් වල තිබ්බ ඔක්කම cover වෙලා තියෙන්න ඕනේ.. Project එකට කැමති යාලුවෝ 4 දෙනෙක් එකතු වෙන්න. සතියක් ඇතුලත වැඩේ කරලා තියෙන්න ඕනේ. Final exam එකට මේකෙන් ලකුණු 40ක් දෙනවා..
එදා හවස
  • මම - මචං කොටා උඹ වරෙන් අපේ ගෲප් එකට..
  • කොටා - ආ.. එල.. පට්ට.. 
  • මම - පුෂ්පෙ උඹත් වරෙන් අපේ එකට..
  • පුෂ්පේ - මම interface එකේ වැඩ ටික කරන්නම්..
  • මම - එල.. බුද්ධියා උඹත් එහෙනම් සෙට් වෙයන් අපිට..
  • බුද්ධියා - හරේ.. නම ලියාගනිං..!
පලවෙනි දවස

අපි Flower export කරන company එකකට site එකක් කරමු..
  • මම - මේ ‍කොටා.. උඹට පුලුවන්ද Javascript ටික ගොඩදාගන්න? පොඩ්ඩක් හැඩ වැඩ දාලා... බුද්ධියා PHP ටික කරන්නම් කීවේ.. මමත් දෙන්නම් හෙල්ප් එක...
  • කොටා - අඩෝ මම PHP කරන්නම් බං.. බුද්ධියාට දීපං Javascript..
  • බුද්ධියා - දන්නවානේ.. මට ඕනේ එකක්..! ආය ලොවෙත් නෑ...
  • මම - එහෙනම් හරිනේ.. පුෂ්පේ ග්‍රැෆික්.. බුද්ධි Javascript ටික.. කොටා PHP. මම අනික් වැඩ ටික කරනගමන් දෙන්නම් හෙල්ප් එක..
දෙවෙනි දවස
  • බුද්ධියා    ╗
  • පුෂ්පේ      ╠ හරි හරි මචං කරගෙන යනවා....
  • කොටා     ╝
තුන්වෙනි දවස
  • බුද්ධියා - Javascript ටික අවුල් වගේ බං.. පුලුවන් නම් කරපංකෝ.. අර Images වලට දාන වැඩ කෑලි ටික අවුල් වගේ බං...
  • මම - හරි බලන්නම් මචං මම.. පුෂ්පේ.. වැඩේ කොහොමද.. අවුලක් නෑනේ..?
  • පුෂ්පේ - හරි හරි මචං කරගෙන යනවා....
  • මම - කොටා?
  • කොටා  - ගින්නක් නෑ මචං.. දැනටමත් register page එක හදලා ඉවරයි!
හතරවෙනි දවස   
  • මම -  කෝ බං බුද්ධියා..? මේ හරකා Javascript ටික කරන එකත් මට දැම්මා.. අද මේකා ඇවිල්ලත් නෑ..
  • කොටා - ඒකනේ මේකනම් මාර *@$%..!
  • පුෂ්පේ - (කොහේදෝ සිට කඩාපත්වී) මේ මචං.. මාර කේස් එක බං.. අපේ අත්තම්මා නැති වෙලා.. මෙතන තියෙනවා Edit කරපු pics දෙකක්.. ඒ දෙකත් දාලා ඉන්ටෆේස් එකේ වැඩේ ගොඩදාපං මචං.. මට මලගෙදර යන්න වෙලා..
  • මම - ආ හරි මචං.. මම බලන්නම්....
පස්වෙනි දවස
  • බුද්ධියා - කොහොමද බං වැ‍ඩේ.. ඊයේ එන්න බැරි වුනා බං බඩුවත් එක්ක පොඩි ගමනක් ගියා..
  • මම - අවුලක් නෑ බං කරගෙන යනවා..
  • කොටා - මේ ඕයි.. මට මේ ටික තේරෙන්නේ නෑ බං.. login page එක හදලා database ටිකත් හදලා දපංකෝ connect කරපංකෝ.. උඹට පුලුවන්නේ ඒ ටික?
  • මම - හරි මචං.. කෝ උඹ හැදුවා කිවුව register page එක?
  • කොටා - ඒක චාටර් බං.. උඹම හදපංකෝ ඒකත්...
  • මම -  Ok මචං..
හයවෙනි දවස 
  • මම - (lectures නොයා ගෙදරම ඉඳිමින් ඉරාගෙන project එකේ වැඩ නිමා කරමින්...)
හත්වෙනි දවස හෙවත් The Last Day
  • බුද්ධි - මචං වැඩේ හරිද?
  • මම - එළ.. මම අද උදේ පාන්දර වෙනකම් වැඩ කරලා හදලා ඉවර කරා බං..
  • කොටා - මචං අපේ ප්‍රොජෙක්ට් එක ගොඩ නේ?
  • මම - අනිවා.. දන්නවානේ ඉතින් මේ කොල්ලාගේ වැඩ..
  • පුෂ්පේ - (කෝල් කර) මචං මම මලගෙදර ඉන්නේ.. වැඩේ කොහොමද?
  • මම - හරි මචං අද දෙනවා..

එදා හවස
  • ගුරා - කෝ බලමු චතුවාගේ ගෲප් එකේ වැඩ..
  • මම - (pen එක කොම්පූටරේට ගසා හැදූ සයිට් එක පෙන්නමින්..)
ගුරාගේ ටෙස්ටින් වලට පසු
  • ගුරා - නරක නෑ. එරර්ස් එහෙමනම් හම්බ වුනේ නෑ කෝඩ්ස් වල. හොඳට කරලා තියෙනවා.. interface එකනම් ටිකක් user familiar මදි.. කමක් නෑ.. ගෲප් එකේ අයගේ නම් කියන්න
  • මම - දෙව් ලොවින් පැමිණි ළමයා
  • ගුරා - අනික් තුන්දෙනා..
  • මම - මම තනියම හැදුවේ සර්...
(කොටා සිටි පැත්තේ සිට වේගයෙන් කාගෙදෝ පොත් බෑගයක් මගේ ඔලුව දෙසට පියාඹා එනවා මෙන් යාංතමට දුටිමි..)


ප.ලි :- මේක මම පොර වෙලා ලිව්වාට ඇත්තම කිව්වොත් මෙතන වැඩ කලේම වෙන එකෙක්. :D

Thursday, May 19, 2011

බලාපොරොත්තු ගොඩක් ඉතිරි වුනු ඔහුගේ නික්ම යෑම..

මේ පෝස්ට් එක කොච්චර නොලියා ඉන්න හිතුවත් නොලියාම ඉන්න බැරි වුනා.. ඇත්තටම මං මේක ලියන්නේ හිතේ හිර වෙලා තියෙන ලොකූ දුකකින් එක දශමයක් හරි අඩු කරගන්න හිතාගෙන. හරිම පුදුම වෙන්වීමක් මටනම් මේක. "ඉලංදාරියා නැතිවෙලා කියන්නේ ඇත්තද?" කියලා නදී අක්කා අහද්දී මං ඇත්තටම විශ්වාස කලේ නෑ. චේතන, හම්තුම් කියද්දී පවා මම මේක විශ්වාස නොකලේ ඇත්තටම ඒක එහෙම වෙන්න තිබුණු මරණයක් කියලා මගේ හිත විශ්වාස නොකරපු නිසා. ඒත් මොනවා කරන්නද.. ඉපදුනානම් මැරෙන්නත් ඕනි. මැරෙන්නේ අපිට ඕනි වෙලාවටයැ.. 


මේ දේවල් අහපු වෙලාවේ ඉඳලා ලොකු පසුතැවීම් දෙකක් හිතේ තියෙනවා මගේ.. දැන් ප්‍රමාද වැඩී. පසුතැවීම් දෙකම හැමදාමත් මගේ හිතේ තියාගෙනම ඉන්න තීරණය කලා. ඒත් එක් පසුතැවීමක් යන්තමට හරි නිවැරදි කරගන්න මම කොහොම හරි කටයුතු කරනවා. අද දවස ති‍ස්සේම ඉලංදාරියා ගැන මතක් වෙනකොට මට අමතක කරන්නම බැරි දවසක් වුනේ සයිබරයේ සිහින බක්මහා සැණකෙලිය දවස.


උදේ වෑන් එකට නැගපු වෙලාවේ ඉඳලා තොරතෝංචියක් නැතිව කියවපු දිලුම් අයියා.. ට්‍රැෆික් අයියා කෙනෙක් වෑන් එක නවත්තපු වෙලාවේ කියපු කතා ගොඩ.. 


එදා ඒ කිවුව දේවල් වල කොයි තරම් බලාපොරොත්තු තිබුණාද.. මහනුවර පලාතේ සිංහල බ්ලොග්කරුවන් වෙනුවෙන් අලුතෙන් සංසදයක් පටන්ගන්න ගොඩ කාලෙක ඉදලා බලාපොරොත්තුවක් තිබිලා දිලුම් අයියා ගැන. "මල්ලී.. ඉදපංකෝ.. මට හොඳ වුනාම වැඩ පටන් ගමු.." තාමත් මට ඇහෙනවා ඒ වචන.. නුවර ඉස්කෝල වල සම්මත්‍රණ තියලා බ්ලොග්කරණය ව්‍යාප්ත කරන්න, නුවර බ්ලොග්කරුවන්ගේ හමුව දවසට නුවර පුරා කොඩි දාන්න, කොයි තරම් වැඩ ගොඩක්ද...


ඇයි මේ වෙසක් එකට .info ඩොමේන් දන්සැලක් දෙමුයි කියලා කියෙවුවා නේද? සර්වර් එක පුරවන්න ඕනි කියලා.. වෙසක් එකට ඩොමේන් දන්සැල දෙන්න හිටපු උඹ අද..... 


ආය හිතේ තිබුණු තවත් බලාපොරොත්තුවක්.. අකීකරු සිත ලියන වරුණි අක්කට උදව්කරන්නත් ලොකු බලාපොරොත්තුවක් තිබුණා.. මාව මුණගැහුන දවස් දෙකේදීම ඒ අක්කට උදව් කරන්න ඕනි කියලා කිවුවා. ඒත් අයියේ මේවා කරන්න කෝ අද උඹ අපිත් එක්ක?


කියපු දේවල්.. හිතේ තිබුණු බලාපොරොත්තු කොයි තරම්ද ඔයාගේ හිතේ.. අපිත් උත්සාහ කරන්නම් ඒවා ඉටුකරන්න.. ඔයා අපි එක්ක නැතිවුනත්.. අපේ හඳවත් වල හැමදාමත් ඉදීවි..






ඉලංදාරියෝ... උඹට නිවන්සුව අයියේ..!!


ප.ලි -ඡායාරූපය ලබා දුන් බුද්ධි අයියාට විශේෂ ස්තූතිය.. 



 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger